top of page

විෂ සහිත පලිබෝධනාශක වලින් අපේ දරුවන් බේරා ගනිමු. Let's protect our children from toxic pesticides

Updated: Jul 15, 2021

මෙම ලිපිය විකල්පනී ජාතික කාන්තා සංවිධානය වෙනුවෙන් පොත් පිිංචක් ලෙස සකස් කරන ලදී.


විකල්පනී ජාතික කාන්තා සංවිධානය පලිබෝධනාශක වලට එරෙහිව 2004 වර්ෂයේ පටන් ලංකාව තුල ක්‍රියාකාරීව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර විශේෂයෙන්ම Pan Asia Pacific Pesticide Action Network (PAN AP) හි සාමාජික සංවිධානයක් ලෙස ග්‍රාමීය ගොවි කාන්තාවන් සමග පරිසර හිතකාමී ගොවිතැන ප්‍රවර්ධනය කිරීමේ කාර්යයේ නියැලෙනු ලබයි.

දරුවන්ට පලිබෝධනාශක වලින් සිදු වන බලපෑම සම්බන්ධව විශේෂයෙන් විකල්පනී සංවිධානය අවධානය යොමු කරනු ලබන අතර මෙම පොත් පිංච PAN AP මගින් සංවිධානය කරනු ලබන සහ දෙසැම්බර් 03 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා ක්‍රියාත්මක වන්නා වූ No Pesticide Use Week (NPUW) පාදක කොට ගෙන සම්පාදනය කරන ලදී . දරුවන්ට පලිබෝධ නාශක වලින් සිදු වන බලපෑම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීම මෙම කෘතියෙහි අරමුණ වන අතර මෙම කෘතිය PAN AP විසින් පල කරන්නට යෙදුණු Children and Pesticides : Learn How Pesticides affect Children (https://files.panap.net/resources/children-and-pesticides-booklet.pdf) යන සගරාවේ අන්තර්ගතයන් ඇසුරින් රචනා කරන ලදී.

ආදරණීය දුවේ පුතේ


අපි අපේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සදහා පෝෂ්‍යදායි අහාර අනුභව කිරීමට සෑම විටම උත්සහ කරනු ලබන අතර පිරිසිදු ජලය පානය කිරීම , ව්‍යායාම කිරීම , නිවස සහ වටපිටාව පිරිසිදුව තබා ගැනීම වැනි ක්‍රියාකාරකම් සිදු කරන්නෙමු. තවද සුලු හෝ රෝගාබාධයක් වැලදුනහොත් ඒ සදහා හැකි විගස බෙහෙත් ලබා ගන්නමෙු. මේ සියලුම දෑ කරන්නේ ලෙඩක් දුකක් නොමැති නිරෝගීමත් පුද්ගලයකු ලෙස ජීවත් වීමටයි.


නමුත් වෙළදපලෙන් රැගෙන එන එළවළු සහ පලතුරු වල ශරීර සෞඛ්‍යට අහිතකර කෘමිනාශක සහ රසායනික ද්‍රව්‍ය අඩංගු වන බව ඔබ දැන සිටියාද? එමෙන්ම මදුරු මර්දනයට සහ කෘමි පාලනයට යොදන පලිබෝධනාශක වලින් නිකුත් වන වායු ධාර ආඝ්‍රාණය වීමෙන් ඔබට පිළිකා ඇතුළු අනෙකුත් රෝග වැළදිය හැකි බව ඔබ දැන සිටියාද ? එමෙන්ම පරිභෝජනය සදහා මෙන්ම අලෙවි කිරීම සදහා වවන එළවළු සහ පළතුරු කොරටු, හේන් ඇතුළු වගා බිම් වලට යොදන පලිබෝධනාශක වලට නිරාවරණය වීමෙන් විවිධ ලෙඩ රෝග තත්ත්වයන් ඇති විය හැකි බව ඔබ දැන සිටියාද?


සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවකු දිනකට වැඩි ආහාර වේල ප්‍රමාණයක් ලබා ගන්නා අතරම වැඩි ජලය ප්‍රමාණයක් පානය කරයි. ආශ්වාස කරයි. තවද දවසේ වැඩි වෙලාවක් පරිසරයත් සමග එළිමහන් සෙල්ලමෙහි යෙදෙයි. මේ සෑම අවස්ථාවකම දරුවන් වස විස සහිත ආහාර වලට සහ පරිසරටයද නිරාවරණය වීම සිදුවේ.

නේපාලයේ කදුකර වලින් වටවු ඉතා දුෂ්කර ගම්මාන වල දරුවන් තම දෙමාපියන් සමග හරකුන්ට අවශ්‍ය තණ කැපීමට යන අයුරු.
නේපාලයේ ගම්මාන වල දරුවන් තම දෙමාපියන්ට උදව් වෙමින්

විශේෂයෙන්ම රසායනික ක්‍රමයන්ට වගා කරන වගා භූමි ආශ්‍රිතව සැරිසරන දරුවන්ට පලිබෝධ නාශක ශරීරගත වීමේ වැඩි ඉඩක් පවතී. මෙම කෘතිය හරහා දරුවන් පලිබෝධනාශක වලට නිරාවරණය වන අවස්ථා හදුනා ගැනීමත්, එහි ශාරීරික සහ මානසික බලපෑම හදුනා ගැනීමත් ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක විය යුතු අයුරු යෝජනා කිරීමත් සිදු කරයි.


දරුවන් පලිබෝධනාශක සහ අහිතකර රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වියහැකි අවස්ථා මොනවාද?


01. පලිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය යොදන ලද ආහාර අනුභව කිරීම මගින්

02. පලිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය යොදන භුමි වල සැරිසැරීම , බෝග ස්පර්ශය සහ එම භූමි ආශ්‍රිතව සෙල්ලම් කිරීම ආදිය මගින්


03. පාසල් ආශ්‍රිතව , සෙල්ලම් පිටි ආශ්‍රිතව , පෙරපාසල් සහ පන්සල් ඇතුළු දරුවන් ගැවසෙන පොදු ස්ථාන ආශ්‍රිතව ඇති භුමි වල වගාවන්ට සහ එම ගොඩනැගිලි ආශ්‍රිතව මදුරුවන් ඇතුලු කෘමි මර්දනයට දරුවන් ගැවසෙන පොදු ස්ථාන ආශ්‍රිතව සහ රසායනික ද්‍රව්‍ය යෙදීම මගින් සහ වාෂ්ප සහ විස සහිත වායුන් මගින්


04. පලිබෝධනාශක බෝතල් ඇතුලු ඉවත දමන පලිබෝධනාශක බහාලුම් සමග දරුවන් සෙල්ලම් කිරීම මගින්


05. දරුවන්ට පහසුවෙන් ලගා විය හැකි ස්ථාන වල පලිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය තැබීම නිසා දරුවන් එම පලිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය ගිලීම සහ පානය කිරීම.


06. පලිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වූ ජල මුලාශ්‍ර වලින් ජලය පානය කිරීම සහ දිය නෑම


පලිබෝධනාශක සහ රසායනික ද්‍රව්‍යවලට දරුවන් නිරාවරණය වීම නිසා දරුවන්ගේ සෞඛ්‍යට ඇති වන බලපෑම් මොනවාද ?


1. උපත් අබාධ ඇති විය හැකිය

පලිබෝධනාශක වල බලපෑම ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණ රාශියකින්ම දෙමාපියන් රැකියා ස්ථාන වලදී , නිවසේදී සහ ගොවි බිම් ආශ්‍රිතව පලිබෝධනාශක වලට නිරාවරණය වීම දරුවන්ගේ උපතේ දී ඇතිවන ආබාධ වලට හේතු වන බව සොයා ගෙන ඇත.

ඇනෙන්සෙප්ලි (anencephaly) - මොළයේ සහ හිස් කබලේ ප්‍රධාන කොටස් නොමැතිව ඉපදීම , අත් පා නොමැති වීම් සහ විකෘතිතා , මුත්‍රා හා ලිංගික මාර්ගයේ අසමානතා , අසමාන්‍ය ලෙස ශිෂ්නයට මුත්‍රා විවරය පිහිටීම , සංජානනීය හෘද රෝග, අක්ෂි විකෘතිතා, අක්‍රමත්ව වර්ධනය වු මොළය සහ සුසුම්නාව , ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ආබාධ, නොමේරූ දරු උපත් , අඩු බර උපත් ආදිය මෙවැනි උපත් ආබාධ සදහා උදාහරණ වේ.


දෙමාපියන් තම පරිභෝජනය සදහා සහ අලෙවිය සදහා වගා කරන්නා වූ බෝග වලට දිගු කලක් තිස්සේ පලිබෝධනාශක යෙදීමත් , පලිබෝධනාශක බහුලව භාවිතා කරන උක් වගාව, එළවළු වගාව , කටුපොල් වගාව , කෙසෙල් වගාව වැනි වගා බිම් ආශ්‍රිත සහ කෘමිනාශක සහ රසායනික ද්‍රව්‍ය බහුලව භාවිතා කරන ස්ථාන වල රැකියා වල නිරත වීම හේතු ලෙස හදුනාගෙන ඇත. උදාහරණයක් ලෙස එන්ඩොසල්ෆාන් (endosulfan) නැමැති වල්නාශකයට දිගු කාලයක් තිස්සේ දකුණු ඉන්දියාවේ කසර්ගෝඩ් ප්‍රදේශයේ ප්‍රජාව නිරාවරණය වීම නිසා එම ප්‍රදේශයේ දරුවන්ට උපත් ආබාධ ඇති වී තිබෙන බව සොයා ගෙන ඇත.

කේරලයේ එන්ඩ්‍රොසල්ෆාන් කෘමිනාශකය නිසා බලපෑමට ලක්වූ දරුවෙක්

බොහෝමයක් පවත්නා සාක්ෂි අනුව ඩීඩීටී, එන්ඩොසල්ෆාන් (endosulfan and DDT) ) සහ කෝලෝරෝෆයිරිපස් සහ ඩයසිනෝන් (chlorpyrifos and diazinon) වැනි පලිබෝධනාශක උපතේදී සිදුවන ආබාධ සදහා හේතු වන බව සොයා ගෙන තිබේ.


2. මව් කුසේ සිටින දරුවන්ටත් බලපෑම් ඇති විය හැකියි

ඇමරිකාව, චීනය , ජපානය, ඉන්දියාව වැනි රටවල සිදු කරන ලද පර්යේෂණ වලින් සොයාගත් තවත් කාරණාවක් වන්නේ ගැබිණි මාතාවක් ගර්භණීව සිටින කාලයේදී හෝ එයට පෙර කෘමිනාශක වලට නිරාවරණය වී ඇත්නම් ඇගේ අලුත ඉපදෙන දරුවන්ගේ ශරීර තුලද රසායනික අංශු අඩංගු විය හැකි බවයි.

තවද ගර්භනණීව සිටින අවස්ථාවේ මවක් ආහාරයට ගන්නා ආහාර මගින් ද විෂ රසායන ද්‍රව්‍ය ශරීර ගත විය හැකියි. එසේ නුපන් දරුවන්ටද පලිබෝධනාශක වලින් බලපෑම් ඇතිවී තිබේයැයි සනාථ කරගත් ගැබිණි මව්වරුන් බොහොමයක් ජානමය ලෙස වැඩි දියුණු කරන ලද ආහාර ගැනීම , පලිබෝධ

නාශක සහ රසායනික පොහොර වැඩිපුර යොදන සෝයා බෝංචි, අර්තාපල් සහ ඉරිගු වැනි ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට ගැනීම වැනි ක්‍රියා සිදුකර තිබුණ බව සොයා ගන්නා ලදී. මෙයට අමතරව සිදු කරන ලද පර්යේෂණ වලදී අලුත උපන් බිලිදුන්ට ලබා දෙන මව් කිරි වලද කෘෂි රසායනික සංඝඨක අඩංගු බව සොයාගන්නා ලදී.


3. දරුවන් ගන්නා ආහාර වල පලිබෝධනාශක පවතී

ඇමරිකා එක්සත් ජනපයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයන් වලදී පැහැදිලි වුයේ සකස් කරන ලද ළදරු ආහාර වල සහ දරුවන්ට වෙළදපලෙන් මිලදී ගෙන ලබා දෙන එළවළු පළතුරු වල විෂසහිත කෘෂි රසායන බොහෝමයක් අඩංගු වන බවයි.

විශේෂයෙන්ම ගෝලීයකරණයත් සමග ආර්ථීකයන් ආහාර ද්‍රව්‍ය වැඩිපුර වෙනත් රටවලට අපනයන කරන නිසාත් වෙනත් රටවලින් ආනයනය කරන නිසාත් ඔබ ආහාරයට ගන්නා ඇපල් මිදි වැනි ඇතුළු අනෙකුත් ආහාර වලට දිගු කාලයක් නරක් නොවී තබා ගැනීමටත් කෘමි හානි වලක්වා ගැනීමටත් රසායනික හා කෘමිනාශක අධික ලෙස යොදනු ලබයි.





4. ස්නායු පද්ධතිය ඇතුළු අනෙකුත් පද්ධතීන් වල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වීම සහ හැසිරීමෙහි ආබාධ ඇති කරනු ලබයි.

මවකගේ කළලයේ වර්ධනය සිදුවන අවස්ථාවේ, ස්නායු සෛල වලට අහිතකර පලිබෝධනාශක ඉතා කුඩා ප්‍රමාණයකට වුව ද නිරාවරණය වුවහොත් දරුවගේ මොළයේ ව්‍යුහයට, ක්‍රියාකාරීත්වයට සහ ස්නායූ පද්ධතියටත් බලපෑම් සිදු විය හැක. මෙය ස්නායු වර්ධනයේ මෙන්ම ඉ‌ගෙනීමේ සහ හැසිරීමේ ව්‍යාකූලතා ඇති කිරීමට හේතු වේ. ‌මේ හේතුවෙන් දරුවාගේ අවධානය අඩුවීම, ඔටිසම් තත්ත්වයන් ඇති වීම , මානසික දුර්වලතා , අඩු බුද්ධි මට්ටම, ශාරීරික සහ සංචරණ ක්‍රියාකාරිත්වය අඩුවීම , ඉගෙනීමේ අපහසුතා ඇති විය හැක . ගෝලීය වශයෙන් අවුරුදු 18 ට වඩා අඩු දරුවන්ගෙන් 5.2% ක් අධි ක්‍රියාකාරීත්වය සහ අඩු අවධානය (attention deficit/ hyperactivity disorder (ADHD) යන රෝග තත්ත්ව වලින් පීඩා විදිමින් සිටී.

එකම වයසේ දරුවන් දෙදෙනෙකුට එක සමාන අදහසක් සිතුවමට නැගීමට දුන් විට පලිබෝධනාශක වලින් බලපෑමට ලක් නොවු දරුවා අදින ලද චිත්‍රය වම් පසද බලපෑමට ලක්වු දරුවා අදින ලද චිත්‍රය දකුණු පසද දැක්වේ.

මෑතකදී ඉන්දියාව , ඇමරිකාව යන රටවල සිදු කරන ලද පර්යේෂණ වලින් සොයා ගන්නා ලද්දේ මව් කුසේ දී සහ එළිමහන් ස්ථාන වලදී පලිබෝධනාශක වලට නිරාවරණය වන දරුවන්ගේ බුද්ධිමට්ටම අවම බවයි.


5. හෝමෝන ක්‍රියාකාරීත්වයට , ප්‍රජනන සහ ප්‍රතිශක්තීකරණ පද්ධතීන්ට බලපෑම් ඇති කරයි


කළලයක සෞඛ්‍ය සම්පන්න වර්ධනයටත් මවකගේ යහපැවැත්මටත් හෝමෝන සමතුලිතතාවය ඉතා වැදගත් වේ. පලිබෝධනාශක වලට මවකගේ හෝමන වලට අනුවර්තනය වෙමින් කළලයේ වර්ධනය සහ විවිධ අවයව සහ පද්ධති වර්ධනය පාලනය කිරීමට හැකියාව ඇත. බොහෝ පලිබෝධනාශක වලට දරුවන්ගේ හෝමෝන වල ක්‍රියාකාරීත්වයට අනුගත වෙමින් දරුවන්ගේ වර්ධන ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමටත් උපතේදී මෙන්ම ජීවිත කාලය පුරාම ආබාධ සහ රෝග ඇති කිරීමටත් හැකියාව ඇත. මෙවැනි බලපෑම් ඇතිකරන්නාවූ කෘමිනාශක ද්‍රව්‍ය අන්තරාසර්ග බාධා කරන්නා වු කෘමිනාශක ලෙස හදුන්වයි. (endocrine disruptors)


6.පිළිකා ඇති කරයි


මෑත කාලයේ සිදු කරන ලද අධ්‍යයනයන් විශාල ප්‍රමාණයකදී පළිබෝධ නාශක වලට නිරාවරණය වීමෙන් ලොව පුරා දරුවන්ගේ පිළිකාමය තත්ත්වයන්හි ඉහළ යාමක් පෙන්නුම් කරන බව හදුනාගෙන ඇත.

ලියුකේමියාව, මොළයේ හට ගන්නා ගෙඩි, නියුරෝබ්ලාස්ටෝමා (ස්නායු ආශ්‍රිත ගෙඩි), හොඩ්ග්කින් නොවන ලිම්ෆෝමා ( වසා ගැටිති ආශ්‍රිත ගෙඩි) , එවිංගේ සාර්කෝමා (අස්ථි පටක ආශ්‍රිත් ගෙඩි ) සහ විල්ම්ස් (වකුගඩු ආශ්‍රිත ගෙඩි ) නැමැති බොහෝ රෝගාබාධ පළිබෝධ නාශක වලට නිරාවරණය සමඟ බහුලව සම්බන්ධ වේ.

නියුරෝබ්ලාස්ටෝමා වඩාත් ළදරුවන් අතර බහුලව දක්නට ලැබෙන අතර ලියුකේමියාව සහ මොළයේ හට ගන්නා ගෙඩි ළමුන් අතර බහුලව දක්නට ලැබේ. දරුවන් පිළිසිදගැනීමට පෙර දෙමාපියන් නිවසේ දී හෝ රැකියා ස්ථානයේදී පලිබෝධනාශක වලට නිරාවරණය වීම හෝ අවධානම් කාලයේදී කළලය පලිබෝධ නාශක වලට නිරාවරණය වීම හෝ දරුවා සෘජුවම පලිබෝධකාශක වලට නිරාවරණය වුවහොත් යන අවස්ථාවල පිළිකා හට ගැනීමේ දැඩි අවධානයමක් පවතී.


එමෙන්ම ගර්භණි සමයේ නිවසේදී පලිබෝධනාශක භාවිතා කිරීම ද අවධානම වැඩිවීමට හේතු වේ. එමෙන්ම අධි මාත්‍රා වලින් කෘමිනාශක භාවිතා කරන ගොවිපලවල් ආශ්‍රිතව සිටින දරුවන්ද වැඩි අවධානමකට මුහුණ දේ. තවද බොහෝමයක් ජාත්‍යන්තර අධ්‍යනයන් පෙන්වා දුන් පරිදි මවක් ගර්භණි සමයේදී කෘමිනාශක යෙදූ බිම් වල නිරාවරණය වීම සහ දරුවන්ගේ මොළයේ හටගන්නා පිළිකා අතර සම්බන්ධයක් පවතී .


කාලයක් තිස්සේ පලිබෝධනාශක වලට නිරාවරණය වීමෙන් වැඩිහිටියන්ගේ ද හෝමෝන පද්ධතියේ අවහිරතා ඇති විය හැකි අතර විශේෂයෙන්ම ප්‍රජනන පද්ධතිය, ස්තණ ග්‍රන්ථි (පියයුරු ආශ්‍රිත ) , වෘෂණ කෝෂ ආශ්‍රිත , පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා ඇති විය හැකි බව හදුනා ගෙන ඇත .


7. අධික තරබාරු බව සහ දියවැඩියාව සහ පරිවෘතීය ක්‍රියාත්මක භාවය සම්බන්ධ ගැටලු


තරබාරුභාවය සහ දියවැඩියාව දැනට ලෝකයේ ප්‍රධාන ගැටලු ලෙස දැක්විය හැකියි. අතර 1980 සිට තරබාරුභාවය දෙගුණ වෙමින් පවතී . එමෙන්ම තරබාරු බව අනෙකුත් බොහෝ රෝගාබාධයන් එනම් දියවැඩියාවේ දෙවන කාණ්ඩය ( එනම් ශරීරය තුල Insulin නිසිලෙස භාවිතා නොකිරීම නිසා දිගුකාලීනව ඇති වන රෝගී තත්තවයක් ), අධි රුධිර පීඩනය , හෘද වාහිනී සම්බන්ධ රෝගාබාධ සහ පරිවෘත්තීය අක්‍රමිකතා සමග සම්බන්ධව ඇත.

ශරීරයේ බර පාලනය කරන , ග්ලුකෝස් පරිවෘත්තීය ක්‍රියාවලිය පාලනය කරන සහ ඉන්සියුලින් මට්ටම පාලනය කරන හෝමෝන වල ක්‍රියාකාරීවයට පලිබෝධනාශක හේතු වීම තුලින් ශරීරයේ බර වැඩිවීමක් පෙන්නුම් කරයි.


8. ප්‍රතිශක්තීකරණ පද්ධතිය , ඇදුම සහ ආසාත්මිකතාවයන් ඇති කරයි.


පලිබෝධනාශක ළදරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බාධා කරමින් ඔවුන්ගේ ළමාකාලයේ ඇතිවන ඇදුම රෝගී තත්ත්වයන් , ස්වන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් සහ අනෙකුත් ආසාත්මිකතා ඇති කිරීමට හේතු වේ . ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ වීම හේතුවෙන් ජීවිත කාලය පුරාම සෞඛ්‍යට යම් යම් බලපෑම් ඇති විය හැක. එය ශරීරය ආසාත්මිකතාවයන්ට ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාව අවම කරන අතර එය අසනීප තත්ත්වයන් වැඩි කරයි.


බොහෝ පර්යේෂණ වලින් පෙන්නුම් කර දෙන ආකාරයට දෙමාපියන් සහ මුල් ළමා අවධියේදී දරුවන් පලිබෝධනාශක වලට නිරාවරණය වීම, ඇදුම රෝගයේ වැඩිවීමට හේතු වන බව සොයා ගෙන ඇත.


9. ජානමය විකෘතිතා

සමහර පලිබෝධනාශක, විශේෂයෙන්ම අන්තරාසර්ග පද්ධතීන්ට බාධා කරන පලිබෝධනාශක වලින් ජාන වල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වී ජානමය විකෘතිතා ඇති වීමට හේතු වේ. එවැනි ජානමය විකෘතිතා පසු පරම්පරා දක්වා ගමන් කිරීමට ඉඩ ඇති බව සොයා ගෙන ඇත.


10. ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ගැටළු

පුර්වයෙන් සදහන් කල උප්පත්තියේදී ඇති වන බාධාවලට අමතරව, අන්තරාසර්ග පද්ධතියට ( හෝමෝන නිපදවීම සදහා ශරීරයේ ´නෑම අවයවයක් සම්බන්ධව ඇති ග්‍රන්ථි ) බාධා කරන පළිබෝධනාශක වලට මවගේ කළලයට නිරාවරණය වීම හේතුවෙන් ප්‍රජනක පදධතිය හා සම්බන්ධ ගැටලු රාශියකට දරුවන්‌ට ජීවිතයේ පසුකාලීනව මුහුණ දීමට සිදුවේ.


ඉතා ඉහළ මුදලක් ගෙවා කෘමිනාශක මිලදී ගත් නිසා

තම නිවසේ සාලයේ දරුවන්ටද පහසුවෙන් ලගා විය හැකි

තැනක පලිබෝධනාශක ගබඩා කර ඇති ගොවියෙක්


විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට අදාල වන ගැටළු ලෙස නිසි වයසට ප්‍රථම මල්වර වීම, ඔසප් චක්‍රයේ සිදු වන අක්‍රමිකතා, ගර්භාෂයේ සිදු වන අක්‍රමිකතා, ගර්භාෂයේ ඇතුලත බිත්තියේ ඇති පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වීම (endometriosis) සහ වදභාවය වැනි අක්‍රමිකතා ඇති විය හැක.

එමෙන්ම පුරුෂයින්ගේ ප්‍රජනන පද්ධතියට බලපාන ගැටලු ලෙස විශේෂයෙන්ම ශුකාණු වල සරු බව සහ ගුණාත්මකභාවය අඩු වීම , අඩු ශුකාණු ප්‍රමාණයක් නිපදවීම සහ විශේෂයෙන්ම පුරුෂ පක්ෂයේ ප්‍රජනක පද්ධතියේ අපහසුතා යන ගැටලු හදුනා ගත හැක. පර්යේෂණයකදී කසගෝඩ් (Kasargod,) වල පිරිමි දරුවන්ගෙන් ලිංගික වර්ධනය අඩු බවක් පෙන්නුම් කල අතර මෙහිදී අඩු ටෙස්ටොස්ට්‍ට්‍රෙරෝන් ( testosterone) හෝමෝන නිපදවීමක් ද පෙන්නුම් කරන ලදී. එමෙන්ම මෙම පලිබෝධනාශක වලට පිරිමි ළමුන් තුල ඊස්ට්‍රජන් ( Oestrogen ) හෝමෝනය ස්‍රාවය තුලින් ස්ත්‍රී ලක්ෂණ පෙන්නුම් කිරීම සහ පුරුෂ ලක්ෂණ වල අඩු වීමක් ද ( anti-androgenic ) පෙන්නුම් කරන ලදී . ‍‍‍


‍‍අප කුමක් කල යුතුද ?


වර්තමානයේදී පලිබෝධනාශක වලින් දරුවන්ට ඇති වන බලපෑම පිළිබද ප්‍රමාණවත් සාක්ෂි පැවතුනද ද ඒ සම්බන්ධයෙන් ජාතික නීති, ප්‍රතිපත්ති සහ රෙගුලාසි වලින් ප්‍රමාණවත් සලකා බැලීමක් සිදු නොකරයි. පලිබෝධනාශක සම්බන්ධ ප්‍රතිපත්ති සදහා බොහෝ විට පලිබෝධ නාශක නිෂ්පාදනය කරනු ලබන සමාගම් විසින් බලපෑම් කරන අතර එහිදී පලිබෝධනාශක වලින් සෞඛ්‍යට සිදු වන බලපෑම නොසලකා හැරීමට අනුබල දෙනු ලබයි. තවද පලිබෝධනාශක නිෂ්පාදන සමාගම් විසින් ලෝකයට, විශේෂයෙන් දියුණු වෙමින් පවතින දුප්පත් රටවලට ආහාර සැපයීම තහවුරු කිරීමට පලිබෝධනාශක අනිවාර්යය වේ යන වැරදි අදහස සහ මිත්‍යාව සමාජ ගත කිරීමට උත්සහ දරති.

කෙසේ නමුත් දුවේ පුතේ ලංකාවේ භාවිතා කරන කෘෂි රසායන ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය වලින් දරුවන්ට වන බලපෑම විශේෂයෙන් නියාමනය කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක සොයා බැලීම් කිරීමට නිසි වැඩපිළිවෙලක් නොමැති නිසා තනි තනිව හැකිතාක් පලිබෝධනාශක වලට නිරාවරණය නොවූ සිටීමට උත්සහ ගැනීම සහ දෙමාපියන් සහ අසල්වැසියන් මේ සම්බන්ධව දැනුවත් කිරීමත් ඔබ විසින් සිදු කල යුතුයි.


තවද පලිබෝධනාශක වලට එරෙහිව ක්‍රියාකරන PAN AP ආයතනය මගින් පහත සදහන් නිර්දේශයන් හදුනා ගෙන ඇත


1. උග්‍ර විෂ සහිත පලිබෝධනාශක භාවිතා කරන කෘෂිකර්මාන්ත ක්‍රමවේදයන්ගෙන් මිදී පරිසර හිතකාමී කෘෂිකර්ම ක්‍රමවේදයන් වලට ගොවීන්ගේ විතැන් වීම තහවුරු කරන කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම.

2. උග්‍ර විෂ සහිත පලිබෝධනාශක තහනම් කිරීම


3. පලිබෝධනාශක තක්සේරුකරණයට ගර්භණී සමයේ හා පුර්ව ළමා වියේ සිදුවන නිරාවරණය වීම හා අඩු මාත්‍රා නිසා සෞඛ්‍යට ඇතිවන බලපෑම ඇතුලත් වීම තහවුරු කිරීම


4. පලිබෝධනාශක අනුමත කිරීමේදී පලිබෝධනාශක සමාගම් වලට ගැති නොවු සහ ඔවුන්ගේ අනුග්‍රහයන් යටතේ ක්‍රියාත්මක නොවන ස්වාධින විද්‍යාඥයින් මගින් අදාල අධ්‍යනයන් සිදු කිරීම සහ ඔවුන් විසින් අදාල පලිබෝධනාශකය නිසා ඇති වන සියලු බලපෑම් සාක්ෂි සහිතව ඉදිරිපත් කල යුතු වීම


5. තනි පුද්ගලයින් සහ ප්‍රජාව කේන්ද්‍රකොට ගෙන පලිබෝධනාශක වලට නිරාවරණය විය හැකි ක්‍රම පිළිබදව සහ එමගින් දරුවන්ට , ගර්භනණි මව්වරුන්ට ඇති වන බලපෑම පිළිබදව දැනුවත් කිරීම


6. නිවාස සහ පාසල් පලිබෝධනාශක වලින් තොරවු ස්ථාන බවට පත් කිරීම සහ ස්වභාවික ක්‍රම වලට කෘමින් පාලනය කිරීම


7. උග්‍ර විෂ සහිත කෘමිනාශක වෙනුවට ජෛවවිවිධත්වය ආරක්ෂාකරන පරිසරහිතකාමී කෘමි විකර්ෂක සහ කෘමි පාලන සහ ක්‍රමවේදයන් වලට හුරුවීම


8. වල් පාලනය සහ කෘමි පාලනය සහ බෝග වල ලෙඩ රෝග පාලනය සදහා අවම පරිසර සහ සෞඛමය බලපෑමක් ඇති ක්‍රමවේදයන්ට හුරුවීම


චතුරිකා හතුරුසිංහ




171 views0 comments
bottom of page