top of page

සාමයයි කාමයයි-දැවටෙන පුංචි රටයි

මේක අජිත් කුමාරසිරිගෙ "ඉර හඳ තරු" සින්දුවෙ එක ලයින් එකක්. සාමයයි කාමයයි එකට යන්නෙ කොහොමද? එහෙම වෙන්න බැරිකමකුත් නෑ. මේ කාමය සෙක්ස් නෙමේ කියලයි දැන් මට හිතෙන්නෙ. මේ කාමය කියන්නෙ නොයෙකුත් දේවල් සම්බන්ධයෙන් අපිට තියෙන කාමය.

මේ කාමය යුද්ධය නිමා කලයි කියන "රණවිරුවො" ගැන වගේම, වසංගතේ අස්සෙ උන්ගෙ ජීවිත ගැනවත් හිතන්නෙ නැති "සුව විරුවො" ගැනත් ඇති වෙන්න පුළුවන්. කාලයක් "රටවිරුවො" කියල අපි කාමයෙන් කතා කරපු ප්‍රජාවකුත් හිටියා. ඒ අය ඉතාලියෙන් ලංකාවට කොරෝනා ගෙනාපු දා ඉඳලා (එහෙම ගෙනාවා කියල අපි හිතපු දා ඉඳලා) අහෝසි වෙලා ගියා.

කාමය වැඩි වෙලා ඒක උතුරන රටක් මේක. සිංහලයට සිංහල අවුරුදු තිබ්බෙ නෑ කිය කිය අඬ අඬ ඉඳලා බුරුතු පිටින් රට වටේම කාමයෙන් ඇවිදපු අපේ අය දැන් ඒකට ජීවිත බර ගාණකින් වන්දි ගෙවන්න පටන් අරන්. හොඳටම කරපු ජාතියක් වෙන්න තිබ්බ රටක් දැන් කාමය නිසාම ඇණගෙන ලොක්ඩවුන් නොවී සංවරණ සීමා දාගනිමින් ලොකු සෙල්ලමක නිරත වෙනවා.

රට ප්‍රජාතන්ත්‍රවාදී කරන්න ඕනෙ කියල මාර කාමයෙන් ඒ ව්‍යාපෘතියට අත ගහපු ප්‍රගතිශීලී ගොඩක් අය දැන් මොනව කතා කළත් වාරණයට සහ දෝෂදර්ශනයට ලක් වෙනවා. අඩුම ගාණෙ ඒ අයට බෑ තමුන් කැමති දේවල් ලියන්න. තමුන් කැමති ජාතියෙ ෆිල්ම් එකක් කරන්න. ඔක්කොම තීරණය වෙන්නෙ බහුතරකාමී සුළුතරයකින්. ඉතින් අර සංහිඳියාව, බලය බෙදීම, ෆෙඩරල් ක්‍රමය, සහ නොයෙකුත් ආකාරයේ පරමාදර්ශ ඇස්පනා පිට ඇකිළිලා යනවා.

කාමයෙන් සාමය සමරන්න ලක ලැහැස්ති වුණත් මේ ප්‍රශ්න අස්සෙ ඒක එහෙම කරන්න බැරි වීම ගැන ගොඩක් අය දුකින් ඉන්නවා. ඒවා ෆේස්බුක් එකේ ලියනවා. රණවිරුවො නැත්තන් අද අපි මෙතන නෑ කියනවා. සමහර අති ජාත මිත්‍රයො මෙහෙම ලියන්නෙ ඇයි කියල මම නැවත නැවත් හිතනවා. ඒ කාමය කොහෙන් ආපු එකක්ද කියල තවත් හිතනවා.

සංහාරයක මොනව සමරන්නද කියල සමහරු අහනවා. එයාගෙන් සමහරු අහනව ඇයි ත්‍රස්තවාදීන්ට ඔච්චරම ලව් කියලා. මේ සංවාදෙ මාරම එකක්. අපි 2009 ඉඳන් මාර කාමයකින් මේ දේවල් ගැන කතා කරනවා. අපි තව අවුරුදු ගාණක් යනකං මේ විදිහට කාමයෙන් ඉඳී. රජ පවුලක ඉතිහාසය ගැන අපේ දරුවොත් කාමයෙන් කතා කරයි.

මේ කාමය සුළු ජාතිකයො (මහ ජාතියට සාපේක්ෂව එහෙම එකක් ඉන්නවනෙ) ගැන මතු වෙන්නෙ නැත්තෙ ඇයි? වෙන රටවල යුද්ධ නවත්තන්න කියල ගොං පාර්ට් දාන විදේශ ඇමති ඒ කාලෙ මානූෂීය මෙහෙයුමෙන් මනුස්සකම නැති කරද්දි හිටියෙ කිරි බිබීද? තුන්වෙනි පක්ෂයක් විදිහට ඉස්සරහට ඇවිත් මිනිස්සුන්ව නියෝජනය කරන්න පුළුවන් පක්ෂයක් මහ පක්ෂවලට මුක්කු ගහල යුද්ධෙ ප්‍රමෝට් කළේ අහවල් එකකටද? ඒ අයම දැන් මහ කොමසාරිස් කාර්‍යාල ඉස්සරහට ඇවිත් කියනවා මියන්මාරෙ මිලිටරි පාලනයට එයාලා විරුද්ධලු. කාමය කොච්චරක්ද කියල තේරුම් ගන්න පුළුවන් නෙ?

කාමය වෙනත් ලිංගික නැමියාවල් තියෙන ප්‍රජාවන් ගැන මතු වෙන්නෙ නැත්තෙ ඇයි? එකම විදිහෙ ලිංගිකත්වද තියෙන්න ඕනෙ. සමණලුන්ට වෙඩි තියන්න ඇයි කාමය පාවිච්චි කරන්නෙ? පීතෲ-පුරුෂ සහ ඒක ලිංගික සමාජ ගැන කාමයෙන් ඔද වැඩුණම අනිත් විදිහට හිතන එකාගෙ අනන්‍යතාවය ගැන වග කියන්නෙ කවුද? ඒක පිළිගන්න අකමැති වෙන් තරමටම කාමය වැඩි වෙලා.

විමුක්තිකාමියො නම් එතන ත්‍රස්තවාදයක් නෑ. දකුණෙ කොල්ලො ආයුධ අතට අරන් අතාර්තිකව රාජ්‍ය බලය ගන්න කැලෑ වැදිලා කට්ට කෑවා වගේම තමා උතුරෙ කොල්ලොත් මහ ජාතියෙන් ඉල්ලුවට ඉල්ලුවට දුන්නෙ නැති දේවල් කොහොමහරි දිනා ගන්න කළපු ගාණේ බඩගෑවා. නන්දිකඩාල්වලින් ඉවර වුණේ ත්‍රස්තවාදය නෙමේ මේ රටේ සුළු ජාතියක අනන්‍යතාවය. අපි අපේ කාමයට උන්ව දාගෙන දැන් චුයින්ගම් වගේ හපන්නෙ ඒකයි.

මහ ජාතියෙ කාමය හරියට අර අසංක සායක්කාරහෙ මං කෙළින් මිනිහෙක් එකේ දේශපාලකයගෙ ඍජු වෙලාම තියෙන පුරුෂ ලිංගෙ වගේ. එක පාරක් ඒක ප්‍රාණවත් වුණයින් පස්සෙ නාට්‍ය ඉවර වෙනකම්ම යථා තත්ත්වයට පත් වුණේ නැති ඒක අන්තිමට තමුන්ට කෙළවෙලා යනකම්ම එහෙමම තිබ්බා. අපේ මේ සැමරුම් කාමයත් අපිට කෙළවෙලා මකබෑවිලා යනකං අපි ඒ ආතල් එකේ ඉන්නවා.

වසංගතයකින්වත් පාඩම් ඉගෙන බැරි කාමරාගී වෙච්ච අපි ඒක එහෙමම තියාගෙන පංතිය, ජාතිය සහ ආගම වගේ දේවල් එක්ක ඔට්ටු වෙනවා. ඔක්සිජන් නැති උනාම ඒක අදාළ නෑ. පීසීආර් කරද්දි නහය කඩාගෙන යන කූරෙ වේදනාවට ඔය කාමය නැති කරන්න පුළුවන්.

අද නියම කතාවක් කිව්වා ටුක් ටුක් සහෝදරයෙක්. "රට හදන්න ඉස්සෙල්ලා ඔයා හැදිලා ඉන්න. ඔයා පරිස්සම් කරගන්න. ජා ඇල ඉඳන් හැමදාම එන ඒ අයියා කියනවා මම ඔය දේවල් කියන්නෙ පණ්ඩිත කමට නෙමේ ඒවා වැරදි නම් ඒවා අහන් ඉන්න මනුස්සය ඒවා ගැන හිතන විදිහ දැන ගන්න කියලා. මම මහරගම. අවුරුදු කාලෙ මහරගම ශොපින් කරන්න ආපු අම්මලගෙ අත්වල හිටිය ළමයි පවා මග ඇරනකං ලෝකෙ තියෙන අන්තිම ඇඳුම හොයපු කාමය දැන දවසට රෝගීන් 3000 ට වඩා වාර්තාවෙන තැනට රට ගෙනිච්චා".

යාළුවෙක් නියම කතාවක් කිව්වා ඔන්ලයින් වර්ක්ශොප් එකක් අතරමැද්දෙ. "මේ ඔක්කොම ශ්‍රී ලාංකිකයො, අපි ඔක්කොම සමානයි වගේ ඒවා කියනව නේද? මොන විකාරයක්ද ඒ? අපි කොහොමද ඔක්කොම සමාන වෙන්නෙ? මේ ඔක්කොමල වෙනස්නෙ. වෙන වෙන හැසිරීම් තියෙන්නෙ? වෙන වෙන අනන්‍යතා තියෙන්නෙ. ඉතින් සමාන වෙන්නෙ නෑනෙ!".

අපි මොනවද අප්පා තවත් කාමයෙන් හොයන්නෙ?


අජිත්ගෙ සින්දුව මෙතනින් අහන්න:



6 views0 comments
bottom of page