top of page

ගැහැණු කුස්සිය මුල්ලෙ විතරක් ඉන්නවා දකින්න කැමති පිරිමි ගැන

Chathu Hathurusingha


"ඇය කැමතිම නැත්තේ රෑට ඔහුත් සමග එකට ඉද්දි දව‌සෙම කුස්සියේ ඉදුල් අතගාලා ඒ ඇගිලි තුඩු අස්සෙන් එන ඉදුල් ගදට. කොයි තරම් හෑන්ඩ් වොෂ් දැම්මත් ඒ ගද යන්නෙ නෑ"


"දුවේ‚ නැටුම් ගුරුවරියක් වෙන එක අපේ පවුලට ගැලපෙන්නෙ නෑ. ඒ නිසා ඒකට අයදුම් කරන්න එපා . පුතාලගේ අම්මටත් පශ්චාත් උපාධියක් තියෙනවා. ඒත් මම අපේ වැඩිහිටියො කියන දේ අහල අම්මට රස්සාවක් කරන්න දුන්නෙ නෑ. ඒක නිසා අපේ ළමයි හොදට ඉගෙන ගත්තා "


"බත් ප්‍රෙෂර් කුකර් එකේද ඉව්වෙ ? රස නැත්තේ ඒකයි. දර ලිපේ උයන්න. " "රෙදි වොෂින් මැෂින් එකේ දාන්න එපා හරියට හේදෙන්නෙ නෑ. මගෙ රෙදි අතින් හෝදන්න ".

"ලුණුමිරිස් අතින් නෙමේ නේද ඇඹරුවේ අම්මා වගේ - නැහැ බෙලෙන්ඩර් එකෙන් අහ් ඒක තමා රස නැත්තෙ"


"මාස් ශුද්ධිය හැදිලා නම් තුල්සි ගහ අල්ලන්න එපා"


"මාස් ශුද්ධිය හැදිලා නම් පුජාවල යෙදෙන තමන්ගේ ස්වාමියා අල්ලන්න එපා"


මේ දෙබස් සේරම අද මගෙ මිත්‍ර සකුණ එවපු මලයාලම් චිත්‍රපටියක් වන " The Great Indian Kitchen" කියන චිත්‍රපටයේ එන දෙබස්. අලුත විවාපත් වෙලා ටිකක් සාම්ප්‍රදායික ඇවතුම් පැවතුම් තියෙන ඒ වගේම ආගම දැඩිව අදහන පවුලක ලේලි වෙලා යන ගැහැණියකගේ කුස්සිගත ජීවිතයක් වටා ගෙතෙන අපූරු චිත්‍රපටයක්.


ඉන්දියාවේ සම්ප්‍රදාය‚ සංස්කෘතිය ඇතුලෙ ගැහැණියව ස්වාමියා , ස්වාමියාගේ පියා, ස්වාමියගේ යහලුවන් , ස්වාමියා සහ කෝවිලේ පූසාරිතුමන් ඇතුලු පුරුෂයින් රොත්තක විසින් ඇයව පොළවටම පාගාල දාන්න කරන උත්සහය මේ චිත්‍රපයෙ හරි අපූරුවට ගෙනහැර දක්වල තියෙනවා.


කුස්සිය , ඉදුල්, ස්වමියා සහ ඔහුගේ පියා කාලා ඉවර වුණාම දකින හැඩි වුණ මේසයකුත් එක්ක තියෙන පිගන්, වතුර ලීක් වෙන පයිප්පය, ඉදුල් වතුර පිරුණු සින්ක් එක මේ හැම දෙයක්ම ඈ පමණක් ඒ කුටුම්භ තුල හැම දිනකම දකින සහ දකින්න සිද්ධ වෙන දර්ශන.


ලංකාව ඇතුලු බොහෝ රටවල ගෘහණියන් ( මොවුන් බොහෝ විට Unpaid Care Workers ලෙස හදුන්වයි) විසින් කරන සේවය ,ඇයගේ කාලය ආර්ථික දත්ත ගණනය කිරීම් වලට ඇතුලත් නොකර ඇති අතරම එයට වට්නාකමක් දී නොමැත. පවුලේ අයගේ ජීවන යහපත තකා ඇයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සියල්ල සෑම දිනකම කිරීමට සිදුවේ. කාලයත් සමග මෙකී කාර්යයන් ස්ත්‍රිය විසින් කල යුතු කර්යයන් යැයි සමාජ සම්මතයන් ( Social Norms) ගොඩ නැගීමත් සමග ඇයට ඉන් මිදීමට ස්වාමියා, පවුල, සමාජය සහ ඇතැම් විට ඇයට ඇය විසින්ම ඉඩ නොදේ .


මේ තුල ඇයට ඇයව‚ ඇගේ හැකියාවන්‚ ඇගේ සිහින සහ ඇගේ ජීවිතය මරා දමන්නට සිදුවේ. නර්තන ගුරුවරියක් වීමට සිහින දකින මේ චිත්‍රපටයේ කතා නායිකාවට එය තමන්ගේ පවුලට නොගැලපෙන්නේ යැයි පවසමින් අකුල් හෙලයි. ඇයට තමා කැමති වෘත්තියක නියැලීමේ අයිතිය පුරුෂ මූලික පවුල් පද්ධතිය විසින් ඇගෙන් අහිමි කරයි.


ඇය‌ට මාස් ශුද්ධිය හැදුණු විට ඇයට දැඩි ආගමික වටපිටායක් සහිත පරිසරයක ජීවත් වන පවුලක, තම ස්වාමියා දකින්නට ඉඩ නොදේ . ඔහුව අල්ලන්නට බැරිය . තම යට ඇදුම් හොදින් එළිය වැටෙන විශබීජ නැසෙන අව්වක වේලන්න‌ට බැරිය. ඒ එම නිවසේ පුරුෂයින්ට පෙනෙයි කියායි.


තව මේ චිත්‍රපටයේ එක ජවනිකාවක ලිංගිකත්වය ගැන කාන්තාව තම ස්වාමිපුරුෂයා සමග කතා බහ කල විට ඇගේ එම දැනගැනීම සම්බන්ධව නැවත නැවත පුරුෂයා විසින් ප්‍රශ්න කරයි.


මේ සියල්ලක්ම ඔබ අප නියෝජනය කරන සමාජ වල ඒ තරමටම නැතිවුනත් මේ චිත්‍රපටය අනිවාර්යෙන් පුලුවන් නම් බලන්න. මොකද ලංකාවේ තාමත් සමහරක් පිරිමි මේ චිත්‍රපටියේ එන පුරුෂයින් වගේ කියලා තේරුම් ගත්තේ අද උදේ තරුණ පහේ කොලු ගැටයෙක් ලියල තිබුණු සහ විවාපත් , වැඩිහිටි පිරිමි පාර්ශවයත් එක පයින් share කරල තිබ්බ මේ කවි පෙලෙන්


බතක් මාලුවක් පිසලා ගන්න බැරි .. පිරුනු කලේ දිය උකුලේ තියනු බැරි .. මිදුලේ රටා තියලා අතු ගානු බැරි... මෙවැනි ලදුන් බදිනා හිමි පස් ද කති..


හාල් පතක් ගරලා ගෙට ගන්න බැරි.. රෙදි ටික සෝදලාවත් මිරිකන්ඩ බැරි.. කන්නට වෙන්නෙ කඩකෑමයි නෑනෙ කරි.. සක්කරවට්ටමක් බැදගත්තොතින් සොරි..


දවසයි බැදල ගෙන ආවෙත් ගෙදරකට.. ඉවරයි මගේ පඩියම මේකප් වලට.. කෑවෙත් කඩෙන් විතරයි සති හතරකට.. උබලා හොදයි වැස්සියො නැති ගාලකට..


එ නිසා පුරුෂයෙක් , ගැහැණියක් විදියට ඔබ ඔබේ ගැහැණු දරුවාට , පිරිමි දරුවාට විවාහය තුල ස්ත්‍රියකගේ සාම්ප්‍රදායික භුමිකාව , සමාජ සම්මතයන් , ආගම මේ හැමදෙයකින්ම එහාට ගොස් ගැහැණියව දකින්න හුරු කරන්න. එවිට ඇය ඔබ සිතනවාට වඩා ලෝකයක් සුවපත් කල හැකි මිනිසෙකු බව ඔබ දැනගනීවි.




7 views0 comments

Recent Posts

See All

96

Comments


bottom of page